Monday, September 26, 2011

බුක් මාර්ක් සහ තවත් කතා.......


බුක් මාර්ක් නං වික්කා.මගේ අම්මෝ එහෙම විකිණිල්ලක්!!!.


අපේ ඈයො බුක් ෆෙයාර් එකට ආව අයගේ ඇඟේ ඇලෙව්වෙ නැති ටික විතරයි.සල්ලි නෑ කිව්ව පොඩි උන් තුන්දෙනෙක්ට කට්ටියම සල්ලි දාල එකක් හරි ගන්න කියන්න තරං අපේ කට්ටිය මැර බලය පාවිච්චි කළා.කවුරු හරි බැරිවෙලාවත් 'අනේ නංගි පර්ස් එක ගෙදර දාල ඇවිල්ලනෙ' කිව්වනං 'හරි අපි එන්නං ගෙදරට යන්න.හැබැයි බුක් මාර්ක් පහක්ම ගන්න ඕනෙ' කියන්න තාරා ලෑස්තිවෙලා හිටියෙ.තාරාගෙං ගැලවිල්ලක් තිබ්බෙ නෑ කාටවත්.විශේෂයෙං පොඩි කොලු පැටවුන්ට.


'අනේ මල්ලි, මල්ලි, අපි කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකෙං.බුක් මාර්ක් එකක් විස්සයි.අනේ ගන්ඩකෝ..................'


 මොන කරුමෙකටද මන්දා පොඩි එකාගේ නිදහස් චින්තනය අතුරුදහන් වෙලා ගිහිං ඌ අවිඥානිකව සාක්කුවෙං පර්ස් එක ඇදලා ගන්නවා.තාරා ජයග්‍රාහීව ආපහු එන්නෙ රුපියල් විස්සක් හරි හතලිහක් හරි අරගෙනම තමයි.ඕනෙම මූසලයෙක් දැලේ දා ගැනීමේ තාරාගේ විශිෂ්ඨ හැකියාව තාරා නැවත වතාවක් ප්‍රදර්ශනය කළා.


බුක් මාර්ක් අතේ තියං ඉන්න, තරුණ වයසේ ඇඳුම් ඇඳ ගත්තු, වයසට ගිය මූණු තියෙන උන්ව දැක්කම අපේ රටේ හුදී ජනයාගේ කකුල්වලට නව පණක් ලැබෙනවා.ඒ මිනිස්සුංගේ මොළේ කකුල්වලට සංඥාවක් යවනවා 'කළිං කීප පාරක් මේ වගේ උං පාරේ හිටියේ උඹට ආදරේට නෙමෙයි.වයිෆ්ට හොරෙං දුමක් උරන්න, පොඩි එකාට මේඩ් ඉන් චයිනා කාර් එකක් අරං යන්න තිබ්බ කීයට හරි තට්ටු උනා.ඉක්මං කරපං රත්තරං කකුල් දෙක' කියලා.


කකුල් ඉක්මං කළා තියා මිනිහා ජෙට් එංජිමක් හයි කරං ගියත් තාරාව මග අරින්නනං බෑ.බී.එම්.අයි.සී.එච්. එක ළඟ ඉඳං තුංමුල්ලටත්, අනිත් පැත්තට බොරැල්ලටත් අහිංසක මිනිස්සුංගෙ පස්සෙං එළවං ගිහිං බුක් මාර්ක් එකක් ඇඟේ ගහලා කීයක් හරි කඩා ගන්න තාරා සැදී පැහැදී හිටියෙ.ඇත්තටම කිව්වොත් ඔටාරාට පස්සෙ වාණිජ ලෝකෙ නමක් තියන්ඩ පුළුවං ස්ත්‍රී රත්නයක් තමයි තාරා.


පණ්ඩිතයා තාරාගෙ මාර්කටිං දිහා බලං හිටපු විදිහනං එච්චර හොඳ නෑ කියලා තමයි ඇසූ දුටු අය කියන්නෙ.පණ්ඩිතයා පොලක් කඩන එක නවත්තලා ජීවනෝපාය හොයාගන්න බුක් මාර්ක් කඩයක් දාන්ඩ යනවා කියලා හා හූවක් මේ දවස්වල තැං තැංවලිං ඇහෙනවා.


දුල්මිනී, රශ්මි (රඝූ) සහ සුභානි පාවිච්චි කළේ සුගුණි තියරි එක.තුන්දෙනා එක පෙළට හිටගත්තම කූඹියෙක්ටවත් යන්ඩ ඉඩක් නෑ.සල්ලි ගෙවලා ටිකට් එකක් ගන්නවා වගේ බුක් මාර්ක් එකක් ගත්තොත් තමයි ආයේ යන්ඩ දෙන්නෙ.පස්සෙ සෙනඟ වැඩි වෙන කොට තුන්දෙනා බෙදිලා ගිහිං දඩයං කරන්ඩ පටං ගත්තා.


දුල්මිණී ඈත ඉඳං කතාව කියාගෙන බුක් මාර්ක් දික කරගෙන මාරාවේශයෙං එනකොට මිනිස්සු ටක් ගාලා සල්ලි ඇදලා දීලා බුක් මාර්ක් එකක් ගන්නෙ තව හිටියොත් යටවෙලා මැරෙයි කියන බයටමයි.මැරෙනවට අපේ රටේ මිනිස්සු එච්චර බය නෑ.ඒත් මළාට පස්සෙ ගෙදර මිනිස්සුන්ට බදාගෙන අඬන්නවත් මිනියක් ඉතුරු වෙන්න ඕනෙනෙ කියලා ඒ මිනිස්සුන්ට හිතෙනවා ඇති.


අනික් එකා තමයි පී. ප්‍රසන්න.මගේ අම්මෝ!!!!, පන්සල් ජීවිතේ මිනිහා නාස්ති කරගෙන නෑ.කඩා වඩා ගන්න හැටි ඉගෙනගෙන තියෙනවා හොඳට.අපරාදෙ කියන්න බෑ ඌ බුක් මාර්ක් ගන්න කට්ටියට බණත් කියනවද මන්දා.අනිත් උන්ට වගේ මිනිස්සු මේකාට රවන්නෙවත් නෑ.කෙල්ලො දොහොත් මුදුන් දීලා බුක් මාර්ක් එක ගන්නෙ.මුගේ මොනවා තියෙනවටද මන්දා මෙච්චර ගෞරවයක්.කොහොම හරි සෑහෙන ගාණක් ඌ තනියම හොයලා තිබ්බා.කවදා හරි රටේ ඉහලම තැනකට එන බවට දැං දැංම පෙරනිමිති පෙන්නනවා.


තව ඉතිං කට්ටිය මේ වැඩේට සම්මාදං උනා.ඒත් ඉතිං අහිංසක මිනිස්සුන්ට මඩ ගහන එක අන්තර්ජාතික මඩ ප්‍රඥප්තියේ වාරණය කරලා තියෙන නිසා ඒවා කටිං ප්‍රචාරය කරන්ඩ තීරණය කළා.ඉස්සරහට තව වැඩ වෙයි.ඔක්කොම ලියන්ඩ බැරි උනත් වැදගත්ම ඒවා ටිකවත් ලියන්ඩ ඕනෙ.දැං බුක් ෆෙයාර් එකත් ඉවර හින්දා බුක් මාර්ක් විකුණන්න වෙන්නෙ ඉස්කෝල සහ ටියුෂන් පන්ති ආශ්‍රිතව.හොඳ හොඳ ඒවා වෙයිනෙ.


බලමුකෝ.......

6 comments:

  1. හොම යං.බුක්මාර්ක් කැම්පේන් එකට ජය වේවා.

    ReplyDelete
  2. @Kalani Gunawardana : ඉස්තූති වේවා.....බුක් මාර්ක් එකක් ගන්නවද?? එකක් විස්සයි.....

    @Phoenix : චියර් කරලා විතරක් මදි කීයකිං හරි දායක උනානං.....

    ReplyDelete
  3. ayyo dinuka... me wage sulu dewal walata mama immune wela godak kal... kalin kiyapu widiyata mama hithuwa adu gane poddakwath mata baya hithei kyla :P :P

    ReplyDelete
  4. p.s. mage nama liyanne murdaja 'ni' ekka :P

    ReplyDelete
  5. අපෝ ඔයා ගැන දාන්න තියෙන ඒවා අන්තර්ජාලය වගේ පොඩි ළමයිනුත් යන එන තැංවල දාන්න හොඳ නෑනෙ.ඒකයි මේ පවුලේ සැමට එකට නැරඹිය හැකි ඒවා විතරක් දාන්නෙ.

    පී.එස්. : ඒ කියන්නෙ ඔයාගෙ නම දිලිසෙන මැණික කියන එකද? මම හිතුවෙ දිලිසෙන මෘත ශරීරය කියලා.....හෙහ් හෙහ් හේ.ඒකයි සිම්පල් 'නි' පාවිච්චි කළේ......

    ReplyDelete