Friday, November 25, 2011

අපේ තේමා ගීතය... නෑ... අපේ කතාව


නින්නාදෙ තවත් ලස්සන කරන්න අපේ ලහිරු ලිව්ව සින්දුවක්...

තරිඳු දැම්ම තනුවක්... 

කස්ටියත්  එක්ක එකතු වෙලා කියන්න හදන අපේ කතාව තමයි මේ...

හැබැයි වැඩේ කියන තරම් ලේසි වුනේ නෑ. ඒ අහියෝගය තනියම කරට අරන් මේ සංකල්පය සිංදුවක් කලේ අපේ ම චතුරිකා අක්කා...



දෘශ්‍ය මාධ්‍යයට ඕන කරන ෆොටෝ ටික ගත්තෙ රංගික.. ඒ ටික වීඩියෝ එකක් කළේ අපේ කෝකුලන්...



කිංසි පාර ගං ඉවුරේ
වාඩි ලාන අපි ඉන්නේ...
ජීවිතේම හොඳ කාලේ
සතරැස් බිමේය ගතවෙන්නේ...
සුසුම් වාෂ්පය සිත්සේ
කොළඹ අහස පිළිගන්නේ
ග්‍රීෂ්ම ඉර යට පිපෙනා
සිනා මල් කිනිති වැන්නේ...



ඇඬුවා අපි හිනාවුනා
තරහ නොවුනා නොවේ...
කාලය නම් ඉගිල්ලුනා
අපව හැරදා කොහේ...
සිනා සරදම් හැඬුම්
මුකුළු පෙම්ගී සරේ
මතක සැමරුම් සුළං
සුළි නගන දින යලි නොඒ...

ප්‍රැන්සිස් පාරේ දවසක
ආපු හැටි අපි මෙහේ...
ඒ ගස් සෙවනේ රැයේ
ගැනපු තරු තව තියේ...//
මල්පෙති විසිරුණු ඉමේ
තටු සළන ගිරවුනේ
දමා සෙවනැලි බිමේ
නො එන් අප යන මගේ...






මෙන්න දැන් අපේ කතාව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන්...



Thursday, November 17, 2011

වැඩ...



ඔන්න ඉතින් නින්නාද උණුසුම පැතිරෙන්න පටන් අරන්. කට්ටිය හෝ ගාලා වැඩ. ඔව්වා ඔක්කොම අස්සේ මාර මාර ආතල් කතන්දර හැංගිලා. 


මේ දවස් වල ෆැකල්ටිය ගාමන්ට් එකක් වගේ. බලන බලන පැත්තේ රෙදි මනිනවා. රෙදි කපනවා. මහනව මහනවා ඉවරයක්‌ නෑ. ඔය ඔක්කොටම ඕන රෙදි හොයන්න පිටකොටුවෙ යන එකත් මාරම ආතල්. (කිව්වට මොකෝ ගිහිල්ලම බලන්න ඕනේ) කොටුවට යන එක නම් මහ අමාරුවක් නෙමෙයි. හැබැයි  ගියාට පස්සේ හරි කඩේ ට යන පාර කවුරුවත් හරියට අහගෙන ඇවිල්ල නෑ. ඉතින් ත්‍රී වීල් කාර අයියල ගෙන් පාර අහගෙන හොයාගෙන හොයගෙන යන්න ඕනේ කියපු කඩේ හොයාගෙන. එතනට ගියාට පස්සේ තමයි තේරෙන්නේ කරගත්ත ගොන් කමේ තරම. කෙල්ලෝ ටික නම් දිව්‍ය ලෝකේ ගියා වගේ. පාට පාට රෙදි රෝල් හැටක් විතර දිග ඇරගෙන තෝරනවා තෝරනවා ඉවරයක්‌ නෑ. හරි පාට හයා ගන්න කපා ගෙන ආපු චූටි රෙදි කෑලි, නූල් කෑලි තිය තිය බල බල කඩේ පුරාම රෙදි හොයනවා. ඔය අස්සේ එක කඩේ ක රෙදි තෝරන ගමන් අනික් කඩේ රෙදි බලන්න ගියා කියල මුදලාලිට මල පැනල බඩු දෙන්න බැහැයි කිව්වා. මල මඟුලයි. ඕන රෙද්ද තියෙන්නේ ඒ කඩේ විතරයි. කොච්ව්ර බටර් ගෑවත් හරි යන්නේ නෑ. මිනිහ බඩු දෙන්න බෑම කියනවා. දැන් කඩේ අනික් මිනිස්සුත් බලනවා, මාර චාටර් එක. අපිත් අත ඇරියේ නෑ. හිමීට වෙන කඩේක හිටපු අපේ දෙන්නෙක් ට කතා කරලා අර කඩෙන් රෙද්ද ගෙන්න ගත්තා. මුදලාලිට කෝචෝක් පාරකුත් දාලා එලියට ආවට පස්සේ තමයි දැක්කේ රෙද්දේ පාට අපි හොයපු එකට වඩා ටිකක් වෙනස් කියල. මොනා කරන්නද මුදලාලිගේ අත්ත මුත්තා ගේ ඉඳං හත්මුතු පරම්පරාවම මතක් කර කර ආවා. 


තව පැත්තක  ගෝනි ගොඩක් කප කප මහනවා. අඩි 36ක සායක් මහන්න. ජුකී මැෂිමක් වගේ මැෂිමක් හොයාගෙන. මහල ඉවර වුනහම ම තමයි බලන්න ඕනේ මොන වගේ  එකක් එයිද කියල. 
ආයේ නිල් පාටයි කොළ පාටයි රෙදි කප කප මොණර පිලකුයි, රවුම් දෙකහමාරක රෙද්දකින් කුරුළු ඇඳුමකුයි එක්ක තවත් එක එක ජාතියේ අමුතුම විලාසිතා අපේ කට්ටිය නිර්මාණය කරගෙන යනවා. 


මහන කතා ඉවර කරන්න කලින් අපේ අලුත්ම සන්නාලියා පී කුමාරව ජනතාවට අඳුන්වා දෙන්න ඕනේ.
අපේ මඩ ප්‍රහාර හමුවේ නොසැලී දිගටම මහගෙන යන පී ට අපේ උපහාරය...


ඔය වැඩ අස්සේ සිතුමා අනික් අලංකරණ කටයුතු ටික ලස්සනට කරගෙන යනවා. පිස්සු හැදෙන ලෝගෝ එකක් මේ ටිකේ හැදෙමින් පවතිනවා. 


නිර්මාල් කාටවත් පේන්නේ නැතුව පට්ටම සිරා වීඩියෝ එකක් ලැස්ති කරනවා. 


හර්ෂ රුචිර රශ්මි DJ කට්ටිය වෙනමම research එකක්.


අයිටම් කරන කට්ටියත් හෝ ගාල පුහුණු කටයුතු වල යෙදෙනවා.


මට ලියා ගන්න බැරි තරම් වැඩ.


තව දවස් කීයද... තිස් වෙනිදාම කස්ටියගේ වැඩ බලාගමු කෝ....
 

Saturday, November 12, 2011

කාර් සේදීමේ ව්‍යාපාරය.

 කාර් වොෂ් ටිකට් ටික විකුණන්න අපි හැමතැනම ඇවිද්දා. හැමතැනම කිව්වෙ  වටේ ම තියෙන ඉසිපිරිතාල වලට ගියා. දොස්තර ල එක්ක හැංගිමුත්තන් කළා. ඇපොයින්ට්මන්ට් ඉවරවෙන කොට කන්සල්ටන්ට්ල ට විරිත්තගෙන ටිකට් පොත් දික් කළා. කොහොම කොහොම හරි ටිකට් ටික විකුණලා, අන්තිමට කාර් ටික හෝදලා දෙන්නම් කියපු දවසත් ආවා. හරියටම කිව්වොත් නොවැම්බර් 6 වෙනිදා.




කට්ටිය පාන්දරම තිඹිරිගස්යායේ අර හැමෝම කාර් හෝදන තැනට සෙට් වුණා. වතුර ටැංකි පුරෝගෙන, බැනර් කොඩි එල්ලලා, ටෙන්ට් අටවගෙන ඉවරවෙනකොට 10 ට විතර ඇති. පස්සේ ලැපකුත් හොයාගෙන DJ එකකට ත්  ලැස්ති වුණා.


ලෝක සම්මත නියාම ධර්ම අනුව මේ වගේ වැඩකට සෙට් වෙන කොට අඳින්න පළඳින්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒක හින්ද කලින් දවසේ sms එකක් යැව්වා කොල්ලන්ට ෆැකල්ටි ටී ෂර්ට් එකයි කෙල්ලන්ට සුදුසු පරිදි ඇඳුමකුයි ඇඳන් එන්න කියල. ඒත් එ‍්ක ගොඩ දෙනෙකුට ලැබිල නැති පාටයි.


කොහොම හරි දවසේ වැඩ ටික කාර්යක්ෂමව කරගන්න හිටපු කට්ටිය කණ්ඩායම් දෙකකට බෙදුනා. පලවෙනි කණ්ඩායම කාර් අල්ලන කණ්ඩායම. ඒගොල්ලෝ පාරේ වංගුව ගාව මඟ රැකගෙන පාරේ යන කාර් වලට ඒවා සෝදා ගැනීමේ වැදගත්කම කියා දෙනවා. දෙවනි කණ්ඩායම කාර් හෝදන කණ්ඩායම. එන එන කාර් හෝදන්න ඕනෙ මේ ගොල්ලො.
මුලින්ම ආපු කාර් එක නම් කොහොම ආවද කියල නම් හැබැයි කාටවත් හොයාගන්න බැරි වුණා. කට්ටිය වැඩට බහින්නත් කලින්ම  එක පාරටම ආපු ඒක හෝදන්න ලොවෙත් ගේමක් දෙන්න වුණා.


කොහොම කොහොම හරි වැඩේ ටික ටික නැගල යන්න පටන් ගත්තා. කාර් එකක් පොඩ්ඩක් නවත්තන්න වගේ ආවම කට්ටියටම මාර ආතල්. බැරි වෙලාවත් නැවැත්තුවේ නැත්තන් නැති නාස්ති වෙලා යන්නම සාප කරනවා.


සාමාන්‍යයෙන් එකක් ආවොත් තව දෙක තුනක්ම පස්සෙන් එනවා. ඒ වෙලාවට කරකියාගන්න දෙයක් නැතිවෙනවා. උඩපැනගෙන වතුර බාල්දි දෙකතුනක් ගහල සබන් වතුරෙන් හෝදලා වේලලම දෙන්න  අපිට යන්නේ විනාඩි දහයකටත් අඩුවෙන්.  ඒත් වාහන හතරක් විතර එක පාරට නවත්තුවහම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැම පැත්තටම වතුර වදිනවා. මාර ආතල්.




එක එක ජාතියෙ වාහන අප විසින් සේදීම ට ලක් වුනත් ඒවා ගැන විස්තර කරන්න මට තේරෙන්නේ නෑ. පාට පාට දිලෙසෙන කාර් ගොඩක් ආව කියල විතරක් ෂුවර් පිට කියන්නන් පුළුවන්.
හැබැයි අන්තිමට තරු වැටෙන්නම කාර් ටික හේදුවා. ඔක්කොම 35 ක් විතර. අපේ කස්ටියගේ  වාහන ටික ට තමයි පොඩි හරි අසාධාරණයක් වුනේ. එකක් හෝදන්න ගත්ත ගමන් 5 ක් විතර පස්සෙන් එනවා..


ඔහොම තමයි කොළඹ මෙඩ්ඩන් ගේ කුලුදුල් කාර් වොෂ් එක සිද්ධ වුනේ...






ෆොටෝ ටික facebook එකේ නින්නාද group එකේ ඇති.


ආ මේ ලියල තියෙන්නේ බොහොම පොඩ්ඩයි. තව එකතුවෙන්න තියෙන දේවල් comment එකකින් දාල යන්න.





Saturday, October 15, 2011

කාර් සහ කාර් සේදීම

කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය අපේ බුක් මාර්ක් ටික තොග වශයෙන් විකුණ ගන්න ලොකු උදව්වක් වුණා. ඉස්කෝල දෙක තුනකටත් ගියා ට පස්සෙ ඉතුරු වෙච්ච බුක් මාර්ක් ටික අපේ කට්ටිය අතර බෙදල දුන්නා. ඒ ටික ත් ඉක්මන ටම විකුණ ගත්තොත් වැඩේ ගොඩ.


ආ... කියන්න ගත්තෙ වෙන කතාවක් නෙ. කාර්... හරියටම කිව්වොත් කාර් වොෂ් එකක්...


ඔව්.. ඔව්.. අර කාර් හෝදන ජාතියෙ එකක් තමයි. 
මෙන්න මේ වගේ එකක්...

ෆුල් ෆන් එක... නේද?




කාර් වොෂ් එකක් ඇත්තටම හරිම තාර්කිකයි. අපේ රැකියාවෙ ස්වභාවය අනුව කාර් එකක් නැතුව කිසිම ගතියක් නෑ. ඒක හින්ද මෙහෙ ඇත්තටම මිනිස්සුන්ට වඩා ඉඩ වෙන් කරල තියෙන්නෙ කාර් වලට. අලුත් කාර්, පරණ කාර්, එක එක පාට, ලෝකෙ හැම රටකම හදපු කාර් අපේ පච ගහ වටේ පාක් කරල තියෙනවා. ඉතින් ඔය ටික හෝදල දාල කීයක් හරි හොයා ගන්න ආපු අදහස ඇත්ත වශයෙන්ම  විශිෂ්ට ව්‍යවසායක සංකල්පයක්.

වැඩේ ලස්සනට කරන්න ඔනෙ හින්ද අපි රුපියල් 500/= ක ටිකට් එකක් නිකුත් කලා. ඒ ටිකට් පතක් මිල දී ගතත්ම අපි කාර් එක ලස්සනට හෝදල අව්වෙ වේලල දෙනවා.

නොවැම්බර් හය වෙනිදා BRC grounds ඉස්සරහ තමයි වැඩේ වෙන්නෙ...

දැනටමත් ටිකට් විකුණන්න පටන් අරන් තියෙන්නෙ, ඒත් මේ වැඩ අස්සෙ ටික දෙනෙකුට විතරක් විකුණන වැඩේ කරන්න අමාරුයි. අපි හැමෝම සෙට් වෙලා වැඩේ ට බැස්සොත් බුක් මාර්ක් ටික වික්ක වගෙ කාර් වොෂ් ටිකට් ටිකත් අපේ කන්සල්ටන්ට්ලගෙ, එස්. ආර්. ලගෙ, ආර්. ලගෙ, එම්. ඕ. ලගෙ ඔය කාර් එකක් තියෙන කාගෙ කාගෙ හරි ඇඟේ ගහන්න පුලුවන්.




ප.ලි.

අපි අනර්කලී මන්ත්‍රී තුමියට අපේ කාර් වොෂ් එකට ත් එන්න කියල ආරාධනා කරන්න හිටිය ත්, තවත් රජයේ මන්ත්‍රී තුමෙක් තාම වෙන්ටිලේටරයක හින්ද වැඩේ අත අරින්න සිද්ධ වුණා.

Saturday, October 1, 2011

මෙන්න බුක් මාර්ක් ටික...










අන්තර්ජාලයෙන් ඇණවුම් කරන්න comment එකක් දාන්න...

Monday, September 26, 2011

බුක් මාර්ක් සහ තවත් කතා.......


බුක් මාර්ක් නං වික්කා.මගේ අම්මෝ එහෙම විකිණිල්ලක්!!!.


අපේ ඈයො බුක් ෆෙයාර් එකට ආව අයගේ ඇඟේ ඇලෙව්වෙ නැති ටික විතරයි.සල්ලි නෑ කිව්ව පොඩි උන් තුන්දෙනෙක්ට කට්ටියම සල්ලි දාල එකක් හරි ගන්න කියන්න තරං අපේ කට්ටිය මැර බලය පාවිච්චි කළා.කවුරු හරි බැරිවෙලාවත් 'අනේ නංගි පර්ස් එක ගෙදර දාල ඇවිල්ලනෙ' කිව්වනං 'හරි අපි එන්නං ගෙදරට යන්න.හැබැයි බුක් මාර්ක් පහක්ම ගන්න ඕනෙ' කියන්න තාරා ලෑස්තිවෙලා හිටියෙ.තාරාගෙං ගැලවිල්ලක් තිබ්බෙ නෑ කාටවත්.විශේෂයෙං පොඩි කොලු පැටවුන්ට.


'අනේ මල්ලි, මල්ලි, අපි කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකෙං.බුක් මාර්ක් එකක් විස්සයි.අනේ ගන්ඩකෝ..................'


 මොන කරුමෙකටද මන්දා පොඩි එකාගේ නිදහස් චින්තනය අතුරුදහන් වෙලා ගිහිං ඌ අවිඥානිකව සාක්කුවෙං පර්ස් එක ඇදලා ගන්නවා.තාරා ජයග්‍රාහීව ආපහු එන්නෙ රුපියල් විස්සක් හරි හතලිහක් හරි අරගෙනම තමයි.ඕනෙම මූසලයෙක් දැලේ දා ගැනීමේ තාරාගේ විශිෂ්ඨ හැකියාව තාරා නැවත වතාවක් ප්‍රදර්ශනය කළා.


බුක් මාර්ක් අතේ තියං ඉන්න, තරුණ වයසේ ඇඳුම් ඇඳ ගත්තු, වයසට ගිය මූණු තියෙන උන්ව දැක්කම අපේ රටේ හුදී ජනයාගේ කකුල්වලට නව පණක් ලැබෙනවා.ඒ මිනිස්සුංගේ මොළේ කකුල්වලට සංඥාවක් යවනවා 'කළිං කීප පාරක් මේ වගේ උං පාරේ හිටියේ උඹට ආදරේට නෙමෙයි.වයිෆ්ට හොරෙං දුමක් උරන්න, පොඩි එකාට මේඩ් ඉන් චයිනා කාර් එකක් අරං යන්න තිබ්බ කීයට හරි තට්ටු උනා.ඉක්මං කරපං රත්තරං කකුල් දෙක' කියලා.


කකුල් ඉක්මං කළා තියා මිනිහා ජෙට් එංජිමක් හයි කරං ගියත් තාරාව මග අරින්නනං බෑ.බී.එම්.අයි.සී.එච්. එක ළඟ ඉඳං තුංමුල්ලටත්, අනිත් පැත්තට බොරැල්ලටත් අහිංසක මිනිස්සුංගෙ පස්සෙං එළවං ගිහිං බුක් මාර්ක් එකක් ඇඟේ ගහලා කීයක් හරි කඩා ගන්න තාරා සැදී පැහැදී හිටියෙ.ඇත්තටම කිව්වොත් ඔටාරාට පස්සෙ වාණිජ ලෝකෙ නමක් තියන්ඩ පුළුවං ස්ත්‍රී රත්නයක් තමයි තාරා.


පණ්ඩිතයා තාරාගෙ මාර්කටිං දිහා බලං හිටපු විදිහනං එච්චර හොඳ නෑ කියලා තමයි ඇසූ දුටු අය කියන්නෙ.පණ්ඩිතයා පොලක් කඩන එක නවත්තලා ජීවනෝපාය හොයාගන්න බුක් මාර්ක් කඩයක් දාන්ඩ යනවා කියලා හා හූවක් මේ දවස්වල තැං තැංවලිං ඇහෙනවා.


දුල්මිනී, රශ්මි (රඝූ) සහ සුභානි පාවිච්චි කළේ සුගුණි තියරි එක.තුන්දෙනා එක පෙළට හිටගත්තම කූඹියෙක්ටවත් යන්ඩ ඉඩක් නෑ.සල්ලි ගෙවලා ටිකට් එකක් ගන්නවා වගේ බුක් මාර්ක් එකක් ගත්තොත් තමයි ආයේ යන්ඩ දෙන්නෙ.පස්සෙ සෙනඟ වැඩි වෙන කොට තුන්දෙනා බෙදිලා ගිහිං දඩයං කරන්ඩ පටං ගත්තා.


දුල්මිණී ඈත ඉඳං කතාව කියාගෙන බුක් මාර්ක් දික කරගෙන මාරාවේශයෙං එනකොට මිනිස්සු ටක් ගාලා සල්ලි ඇදලා දීලා බුක් මාර්ක් එකක් ගන්නෙ තව හිටියොත් යටවෙලා මැරෙයි කියන බයටමයි.මැරෙනවට අපේ රටේ මිනිස්සු එච්චර බය නෑ.ඒත් මළාට පස්සෙ ගෙදර මිනිස්සුන්ට බදාගෙන අඬන්නවත් මිනියක් ඉතුරු වෙන්න ඕනෙනෙ කියලා ඒ මිනිස්සුන්ට හිතෙනවා ඇති.


අනික් එකා තමයි පී. ප්‍රසන්න.මගේ අම්මෝ!!!!, පන්සල් ජීවිතේ මිනිහා නාස්ති කරගෙන නෑ.කඩා වඩා ගන්න හැටි ඉගෙනගෙන තියෙනවා හොඳට.අපරාදෙ කියන්න බෑ ඌ බුක් මාර්ක් ගන්න කට්ටියට බණත් කියනවද මන්දා.අනිත් උන්ට වගේ මිනිස්සු මේකාට රවන්නෙවත් නෑ.කෙල්ලො දොහොත් මුදුන් දීලා බුක් මාර්ක් එක ගන්නෙ.මුගේ මොනවා තියෙනවටද මන්දා මෙච්චර ගෞරවයක්.කොහොම හරි සෑහෙන ගාණක් ඌ තනියම හොයලා තිබ්බා.කවදා හරි රටේ ඉහලම තැනකට එන බවට දැං දැංම පෙරනිමිති පෙන්නනවා.


තව ඉතිං කට්ටිය මේ වැඩේට සම්මාදං උනා.ඒත් ඉතිං අහිංසක මිනිස්සුන්ට මඩ ගහන එක අන්තර්ජාතික මඩ ප්‍රඥප්තියේ වාරණය කරලා තියෙන නිසා ඒවා කටිං ප්‍රචාරය කරන්ඩ තීරණය කළා.ඉස්සරහට තව වැඩ වෙයි.ඔක්කොම ලියන්ඩ බැරි උනත් වැදගත්ම ඒවා ටිකවත් ලියන්ඩ ඕනෙ.දැං බුක් ෆෙයාර් එකත් ඉවර හින්දා බුක් මාර්ක් විකුණන්න වෙන්නෙ ඉස්කෝල සහ ටියුෂන් පන්ති ආශ්‍රිතව.හොඳ හොඳ ඒවා වෙයිනෙ.


බලමුකෝ.......

Sunday, September 18, 2011

බුක් මාර්ක් වික්කෙමු......ආතල් ගත්තෙමු.....





අද හරි ආතල් දවසක්.ඔන්න අපේ කට්ටිය නින්නාදෙට ගහපු බුක් මාර්ක් (ඒ කියන්නෙ පොත් සළකුණු ) කොළඹ බී එම් අයි සී එච් එක ළඟ විකුණන්න පටං ගත්තා.අද දවසේ වැඩේට සෙට් උනේ පණ්ඩිත්, සුගුනි, චින්තා,කෞශිලා, ගයියා, නිපුන්-සංගීතා, තරංගා, දිනිදු, කුමරි සහ මම.මම ටිකක් කළිං පැන්නා. හවස් වරුවේ වැඩේ ගොඩ දාන්න පබී, ඈත ප්‍රදෙශයකින් ආ තිලිණි, චන්දරේ එක්කල යාපා ත් සෙට් වුණා.එහෙම නමක් කියන්ඩ අමතක උන ඇත්තෙක් ඉන්නවනං සමාව භජනය කරනවා ඕං.




මෙතන බුක් මාර්ක් විකුණන කොට සැළකිය යුතු කාරණා ටිකක් තියෙනවා.අපේ කෙල්ලො යන්න ඕනෙ කොල්ලන්ට බුක් මාර්ක් දෙන්න.මම වගේ හැන්ඩ්සම් කොල්ලො යන්න ඕනෙ කෙල්ලන්ට බුක් මාර්ක් විකුණන්න.තව ඔය කපල් එහෙම යනකොට පොඩ්ඩක් අඬපු ගමන් කොල්ලා කෙල්ල ඉස්සරහ වීරයා වෙන්න ගාණ අහන්නෙත් නැතුව සල්ලි ඇදලා දෙනවා.අනිත් එක තමයි පොත් අරං එන කට්ටියව ටාර්ගට් කරන එක.මොකද ඒ මිනිස්සු 'පන්දාහක් හයදාහක් වියදම් කරපු එකේ ඔය රුපියල් විස්ස මොකක්ද?' කියලා සාක්කුවෙ තියෙන අන්තිම රුපියල් විස්සත් ඇදලා දෙනවා.අනිත් විශේෂම කාරණේ තමයි ඒ මිනිස්සු යන පාර හරස් වෙන විදිහට නතර වෙලා අපේ දුක් ගීතය කියන එක.ඕක අද හොඳට පාවිච්චි කළා සුගුණි.මටනං ඒ වැඩේ බෑ.මොකද මිනිස්සුන්ට යන්ඩ බැරි වෙන්න පාර හරස් කරන්ඩ අවශ්‍ය කරන ඒ වගේ දැවැන්ත ප්‍රාංශු දේහදාරී බවක් ලබන්න මම පිං කරලා නෑ.


අපි කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ කිව්වම කෙල්ලො නතර වෙනවා.උං ඇඹරෙනවා.යටැසින් අපි දිහා බලනවා.අන්න ඒ වෙලාවට ජාති පහෙන් බුක් මාර්ක් පහක් අරං තමන්ගෙ මූණ ඉස්සරහින් අල්ලන එක තමයි කරන්න ඕනෙ.එතකොට ඒ දැරිවිට පුළුවං වෙනවා තමං කැමති බුක් මාර්ක් එක තෝර ගන්න.


වැඩේ නැගලා යන වෙලාවෙ ලස්සන හීංදෑරි උස කෙලි සිඟිත්තක් අපේ වැයික්කියට කිට්ටු උනා.අපි හිටපු පුරුෂ පරාණ ටිකත් බුක් මාර්ක් අරං ඒ දැරිවිව වට කර ගත්තා.කෙල්ල ඔළුව උස්සන්නෙම නෑ.අපි ඉතිං අපේ කයිය කිව්වම කෙල්ල නිපුන්ගෙන් බුක් මාර්ක් එකක් ගත්තා.අන්න එතකොටයි අපිට තේරුණේ කෙල්ල බිම නෙමෙයි බලං ඉඳලා තියෙන්නෙ නිපුන්ගෙ මූණ දිහා කියලා.




ඔන්න ඉතිං අපි හරි ආසයිනෙ අපි මෙඩ්ඩො කියන්න.ඉතිං අපි ඕක කිව්වම අංකල් ලා තමංගේ දුවලා ව අපිට හොඳට පේන හරියකට ගන්නවා.ඒ කියන්නෙ කෙල්ල තාත්තා පිටිපස්සෙ හැංගිලා හිටියොත් ගන්නවා ඉස්සරහට.'පුතේ ඔය අයියා අතේ තියෙන බුක් මාර්ක්වලිං පුතා කැමති එකක් තෝරගන්න' කියලා කෙල්ලට හරි ආදරෙං කියනවා.කෙල්ලත් බුක් මාර්ක් පහම සිය සැරයක් විතර පෙරළලා බලලා අන්තිමට එකක් තෝර ගන්නවා.'පුතේ මේ රුපියල් විස්ස ඔය අයියට දෙන්න' කියලා දුවගේ අතට දෙනවා.අපිටත් මොකෝ බුක් මාර්ක් ටික විකිණෙනවානං.


ඇත්තටම මටනං මෙහෙම චාන්ස් එකක් හම්බ වෙලාම නෑ හොඳ පිරිපුන් සුන්දර කෙලි පැටික්කියෙක්ව ඒ ඇත්තිගෙ වත්මන් භාරකාරයින්ගේ අනුදැනුමත් ඇතුව මහ පාරේ නවත්තගෙන දොඩවන්න.අඩුම තරමේ බුක් මාර්ක් ගැනවත්.මොකෝ හැමෝටම හම්බවෙන චාන්ස් එකක් යෑ.


අද බුක් මාර්ක් විකිණීම සම්බන්දයෙං තරගෙකුත් තිබ්බා.වැඩිම බුක් මාර්ක් ගාණක් විකිණීම සහ එකවර බුක් මාර්ක් පහම වැඩි වාර ගණනක් විකිණීම.මේ දෙකේම දැනට පෙරමුණ ගෙන සිටින්නෙ ගයියා.සංඛ්‍යා දත්ත මට හරියට මතක නැති උනත් අන්තිමට තරගයක් තිබ්බෙ සුගුණිගෙයි ගයියාගෙයි අතරෙ විතරයි.අපිට ප්ලේස් නෑ.


ගයියාගේ මාර්කටිංනං පට්ට. ගරිල්ලා මාර්කටිං, ගයියා මාර්කටිං කියල වෙනස් කරන්න වෙයි වගේ. කවදා හරි හොඳ පොලක් කැඩීමේ පෙර නිමිති පෙන්නනවා.ගයියා මිනිස්සුංගේ වීක් පොයින්ට් බලලා ඒවට ගහන ජාතියේ එකෙක්.ඔන්න පරිස්සං වෙමු කවුරු කවුරුත් හොඳේ......


කොහොම හරි කියන්න තියෙන්නේ මේ ඇරඹුම පමණයි.ලබන සතියේ ඉරිදා වෙනකන්ද කොහෙද බුක් ෆෙයාර් එක තියෙනවානේ.යමු යමු කට්ටි කට්ටි සෙට් වෙලා.අදටමත් සෑහෙන ගොඩක් වික්කා.ඉතුරු ටිකත් විකුණලා නින්නාද අරමුදල ශක්තිමත් කරමු.


මෙතන තමයි තැන බුක් මාර්ක් විකුණන්න.මිනිස්සු අලියා අරං හෙණ්ඩුව නොගෙන ඉන්නෑනෙ.මොකද ඔය තඩි පොතක් කියව කියව ඉන්න කොට මුත්‍රා බරක් හැදුණා.කාට කියන්ඩද? ඔය පොත් කියවන ඇත්තො ඔය අත්දැකීමට අනන්තවත් මූණ දීලා තියෙනවා.ඒ අය දන්නවා බුක් මාර්ක් එකක වටිනාකම.ඒ නිසා වැඩි කට්ටක් කන්නැතුව ඔය ටික විකුණ ගත්තෑකි ඔතන.කට්ටිය එහෙනං ලෑස්තිනෙ?????????


******************************************************



බුක් මාර්ක් ගැන කියන්න පටන් ගත්ත වෙලේ බුක් මාර්ක් හදන්න කාපු කට්ට ගැනත් නොකිව්වොත් ලොකු අඩුවක්. 
මෙදා පාර බුක් මාර්ක් ටික  අලුත් විදිහකට හදන්න තමයි මුල ඉඳලම ලෑස්ති උනේ. හැබැයි ඉතින් ඕක කියන තරං ලේසි නැති බව තේරෙන්නෙ වැඩේ කරන්න ගත්තහම තමයි. ඉස්සෙල්ලම ගූගල් එකේ තියෙන පින්තූර ඔක්කොම පිස්සුවෙන් වගේ බාන්න ගත්ත. පොඩි වැඩක් නෙමෙයි. හිතට එන එන වචනෙ ගගහ බලනව. අමාරු හරිය ඊළඟට. පින්තූර පහක් තෝරගන්න ලෝකෙත් නැති තර්ක විතර්ක. කොහොම කොහොම හරි  පින්තූර ටිකක් තෝර ගත්තහම නිර්මාල් ට ෆොටෝ ෂොප් එපා වෙලාලු. වෙලාවට කෝකුලන් වැඩේට බැස්සෙ. චතුරිකා අක්කගෙ, ඒ කිව්වෙ කෝකුලන් බලෙන් පත් වෙච්ච සහයිකාව ගෙ, මායා ජාලය මැද්දෙන්, කුමරිගෙ කයි ත් අහගෙන කොහොමහරි කෝකුලන් වැඩේ නියමෙටම කළා. 


බුක් මාර්ක් ටික ප්‍රින්ට් කර ගන්න ගිහින් සේයා එකේ අන්කල් ගෙන් මල්ලි කියල අහ ගත්ත ප්‍රමිත වත් මතක් නොකර බැහැ.


මෙන්න ෆොටෝ ටික... 


ආදායම...
විසිර යා...

මේ හරියෙ වේලෙනව..
මාෆියාව
නංගි මේකයි සීන් එක...
ගයියා මාර්කටිං පංතිය ... 


ගන්න ගන්න... අපෙනුත් ගන්න...



Saturday, September 10, 2011

මේකයි වැඩේ.....




නින්නාදෙ වැඩ කටයුතු අපි ඔන්න පහුගියදා බැච් එකේ මීටින් කට්ටක් තියලා පටං ගත්තනෙ.ජිත්තාගෙ සුපුරුදු කියවිල්ල හින්දා තව පොඩ්ඩෙන් කට්ටියකට ස්කිල්සුත් කට් වෙනවා.ජිත්තත් කියවන්න ගත්තම ඌටම මතක නෑ පටං ගත්තෙ කොහෙන්ද කියලා.කට්ටිය දැං හවසට හවසට හොරෙං තැංතැංවල අයිටම් පුරුදු වෙනවා කියන්නෙ.තව ඉතිං කට්ටිය රෑට ෆැකල්ටියෙ එක එක වැඩ.සල්ලි හොයන වැඩ, ලියුම් කියුම්වල වැඩ වගේ එකී නොකී දාහක් රාජකාරි.


මම ඉතිං දැං ඔව්වට යනවා අඩුයිනෙ.මේ නහින දෙහින කාලෙ මොන බයිස්කෝප් ද කිව්වලු.මම මට හැකි ආකාරයෙං ඒ කිව්වෙ කටිං කරන උදව්වක කරගෙන කාගෙනුත් බැණුං අහගෙන සතුටිං ඉන්නවා.පණ්ඩිතයා දැන්ම ඉඳං කැමරාව අරගෙන එක එක ඈංගල්වලට කට්ටිය වැඩ කරන, කයි දෙන ෆොටෝ ගන්නවා.සුපුරුදු විදිහට අඩුවෙං වැඩ කරලා වැඩිපුර ෆොටෝවලට ඉන්න තමයි මගේ බලාපොරොත්තුව මේ පාරත්.අපේ කට්ටියට ෆුල් අප්සට් අපේ කලිං වැඩ පෙන්නන්ඩ හදපු වීඩියෝ එකේ වැඩි පුර මගේ ෆොටෝ තිබ්බා කියලා.ඉතිං මේ ලෝක අපවාදෙං ගැලවෙන්න වීඩියෝ එක හදපු නිර්මාල් ගොයියගෙං අහපුවාම ඌ කියපි "මොනව කරන්ඩද හැම ෆොටෝ හැම එකකම වගේ උඹ ඉන්නවනෙ ඉතිං කොහොමද උඹ නැති ෆොටෝ දාලා වීඩියෝ එකක් හදන්නෙ" කියලා.ඇත්තටම මේකයි උනේ, අපේ කැමරාකාරයා පණ්ඩිත්නෙ.මම උගේ මිත්‍රයෙක් විදිහට උගේ ළඟින්ම ඉඳීමේ ප්‍රථිඵලයක් විදිහට ඌ ගන්න හැම ෆොටෝ එකටම යන්තං හොට දාගන්න පුළුවං උනා.අනික එක පාරක් අකූ එක්ක එකතුවෙලා පණ්ඩිතයගෙ කැමරාව උස්සං අපි එක එක වැඩ කරනවා වගේ පේන්න මහ ගොඩක් ෆොටෝ ගත්තනෙ.


මම කරපු ඇති වැඩක් නෑ.ඒත් මහ හුඟක් කළා වගේ පේන්න ෆොටෝනං මහ ගොඩක් ගත්තා.මම මේක මේ වෙලාවෙ කියන්නේ පාපොච්ඡාරණයක් විදිහට නෙමෙයි.මේ රටේ පුරවැසියෙක් විදිහට වැඩ කරනවා වගේ පෙන්නන එක අපේ ජානවල තියෙන දෙයක්.මම මේ කියන්නෙ ඔය මම කරපු වැඩේ වෙන ඕනෙ තැනක කරපල්ලා.ඒත් මේ නින්නාදෙට අපි ඔක්කොම මහන්සිවෙලා එකතුවෙලා වැඩ කරමු.මොකද මේකෙ වැඩ කළා කියලා පෙන්නලා වැඩක් නෑ.කරලම පෙන්නන්න ඕනෙ.සමහරවිට රටක්ම දකින්නත් ඉඩ තියෙනවනෙ.මේක එළට කරගත්තෙ නැතුව චා උනොත් එස්. බී. කියයි අපෝ පී.එම්.සී. එකේ උං කොච්චර හොඳද කියලා.එහෙම වෙන්න දෙන්න බෑනෙ.ඔය සාක්කුව පිරුණට ඔළුව හිස් උං වගේද අපි.සාක්කුව හිස් උනාට ඔළුව පිරිලනෙ තියෙන්නෙ.අඩු තරමෙ ඔය වල්පල්වලිං හරි.නේද මෙයාලා.........?

Friday, September 9, 2011

අපේ බ්ලොග් එක...


නින්නාද ඉතිහාසයේ මුල් වතාවට තමයි නිල වෙබ් අඩවියකට අමතරව නිල බ්ලොග් එකක් ජාල ගත වෙන්නෙ. මීට කලින් බ්ලොග් පාවිච්චි කරල නැති අයත් අපිත් එක්ක එකතු වෙන හින්ද ඒ ගැන පුංචිම පුංචි හැඳින්වීමක් කළොත් හොඳයි කියල මට හිතුන.

බ්ලොග් එකක් කියන්නෙ සරලව කිවොත් අන්තර්ජාලයේ ලියවෙන දින පොතක් වගේ එකක්. බ්ලොග් කියන වචනය හැදෙන්නෙ වෙබ් ලොග් කියන වචන දෙකේ "වෙ" යන්න ලොප් වෙලා ඉතිරි ටික සන්ධි වුණහම.  බ්ලොග් එකක් අනික් වෙබ් අඩවි වලින් වෙනස්  වෙන්නෙ බ්ලොග් එකක ලියවෙන සටහන් ගැන පාඨකයන්ට අදහස් පළ කරන්න පුළුවන් නිසා.

අපේ නින්නාද බ්ලොග් එක තියෙන්නෙ ගූගල් සමාගමේ කොටසක් වෙන blogger.com වෙබ් අඩවියේ. දිගටම බ්ලොග් එකත් එක්ක එකතු වෙන්න, ඒ කියන්නෙ follow කරන්න බ්ලොග් එකේ follow කියන tab එකේ join this site කියල තියෙනෙ button එකෙන් පුලුවන්. ඊට පස්සෙ ගූග්ල් හරි යාහූ හරි account එකකින් බ්ලොග් එක follow කරන්න පුලුවන්.


එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න.




Sunday, September 4, 2011

ඒ කියන්නේ මෙන්න මේකට.......




නින්නාදෙ කියලා කියන්නෙ කොළඹ මෙඩ්ඩොන්ට නිකං දෙයියො දීලා තියෙන වරප්‍රසාදයක් වගේ තමයි.මොකද හැමදාම පොතයි ඇඳයි බදාගෙන ඉන්න උන්ට හිරි ඇරලා අතපය දිග ඇරලා හූ කිය කිය නටන්න රඟන්න විතරක් නෙමෙයි සින්දු කියන්න මොකක් හරි වාද්‍ය භාණ්ඩයක් අරං ඒක තලතලා අනිත් උන්ව නටවන්නත් හම්බවෙන අන්තිම අවස්ථාව.


එහෙම කිව්වට එහෙම මේ අන්තිමම අවස්ථාවත් නෙමෙයි.ඒත් ඉතිං තමන්ම හදලා ගලපලා සංවිධානය එහෙම කරලා නටන කොටනෙ මොන තොවිලෙත් තමන්ගෙ වගේ දැනෙන්නෙ.මොකද මම එහෙම කියන්නෙ කොළඹ වෛද්‍ය පීඨෙ උන් තරං ඔය කලා කටයුතු, වල්පල් කුපාඩි වැඩ ආර්ට් එකේ උංවත් කරන්නෑ.මේක තමයි නියම කලා පාරාදීසෙ.මගේ මිත්‍රයෙක් දවසක් මගෙං අහනවා "ඇත්ත කියපං මචං උඹ ආර්ට් ෆැකල්ටි නේද යන්නේ" කියලා.ඒ මම ඔය තවත් මොකක් හරි කටයුත්තකට අයුධත් අරං කෝච්චියෙ එනකොට.ඉතිං කොච්චර කලා කටයුතු තිබ්බත් බැච් එකකට අනිවාර්යයෙන්ම සංවිධානය කරන ආතල් එක ගන්න තියෙන්නෙ ජුන්නොන්ට දෙන ෆ්‍රෙෂස් එකයි, ෆැකල්ටි කොන්සට් එකයි අන්තිම වශයෙං මේ කියන නින්නාදෙයි විතරයි.


ෆ්‍රෙෂස් එකයි කොන්සට් එකයි ඔහෙ කරන්නං වාලෙ කළාට නින්නාදෙ එහෙම කරන්න බෑ.ඒක තමයි කළිං ඉගෙනගත්තු පාඩම්වලිං සහ අත්දැකීම්වලිං බිහිවෙන නිර්මාණකරණයේ අග්‍රඵලය.විශිෂ්ඨත්වයේ කූටප්‍රාප්තිය.ඒක හරියට නිකං කොල්ලෙක් බූට් කාලා කාලා අන්තිමට පට්ට කෑල්ලක් සෙට් කරගන්නවා වගේ.ඌ ඊළඟට සෙට් කරගන්නෙත් චාටර්, කට වාචාල, ගොං බඳින කණුවක් වගේ කෙල්ලෙක්නං ඒකා සමාජය ඉස්සරහා මෝඩ ගොනෙක් විදිහට හංවඩු ගැහෙනවා වගේ, නින්නාදේ අනාගත්තොත් ඒ බැච් එකත් මෙළෝ රහක් නැති බැච් එකක් විදිහට තමයි ඉතිහාසගත වෙන්නෙ.කවුද කැමති තමංගෙ බැච් එක ඒ තත්වෙට වැටෙනවට.ඒක හින්දා මුළු බැච් එකම එකාවගේ මේ පොදු සතුරා ජයගැනීමේ අරමුණින් එකට එකතු වෙනවා.


ඔය අතරේ ඉතිං සුළු සුළු සිත් අමනාප වීම් එහෙමත් නැත්තෙම නෑ.ඒවත් නැත්තං මේකෙ කිසි ගතියක් තියෙනවයෑ.ඉතිං ඔහොම කට්ටිය තරහවෙනවා, යාළුවෙනවා.ඔය අතරේ කපල් සෙට් වෙනවා.තිබ්බ එව්වා කැඩෙනවා.අන්තර් බැච් මුහුවීම් අස්සෙ කෙල්ලො උඩ බැච්වලට ගොඩ යනවා.කොල්ලො යට බැච්වලිං ගොඩ දාගන්නවා.එළියෙං කෙල්ලො දාගත්තු උං අනිත් උං ලව් කරනවා බලලා හූල්ලනවා.ඔය මොකුත් නැති උං ඊළඟ බැච් එක එනකං බලං ඉන්නවා.


ඉතිං ඔහොම තිරය පිටුපස ජවනිකා වගේම තිරය ඉස්සරහත් ලොවෙත් නැති ජවනිකා තමයි රඟන්ඩ කියලා ලෑස්ති කරන්නෙ.උදේ පාන්දර දත් මදින වෙලාවෙ ඔළුවට ආපු, පරක්කුවෙලා ක්ලිනිකල්ස් ගිහිං බැණුං අහනවෙලාවෙ හිතිච්ච, කොමන් රූම් එකේ කැරමක් ගහන වෙලාවක මතක් වෙච්ච අදහස්  අංශුමාත්‍රයකට අනිත් අයගෙත් අදහස් එහෙම දාලා, හොඳට පෝර වතුර දාලා හදා වඩා ගත්තු අයිටම් දරුවෙක් බොහොම ආදරෙං පුරුදු පුහුණු කරලා තමයි කරළියට ගේන්නෙ.


ඉතිං අපේ බැච් එකෙත් ලොවෙත් වැඩකාරයෝ සහ ලොවෙත් වැඩකාරියෝ ඉන්න නිසා අපේ නින්නාදෙත් එළටම යාවි කියලා අපි හිතමු.(මෙහි වැඩකාරියන් ගැන සඳහන් කරන්නට යෙදුනේ ඒ ගැන කාරුණිකව මතක් කර දුන් ප්‍ර.කා.ස. හි බලවත් උනන්දුව නිසා බැව් සඳහන් කරන්නට කැමැත්තෙමි.)


එහෙනං අපිට ජයවේවා!


ප.ලි.


ප්‍ර.කා.ස. :- ප්‍රචණ්ඩ කාන්තා සංගමය.